කතරගම දෙවියන් වැඳ පුදාගන්නා නියම පිළිවෙළ‍

කතරගම දෙවියන් වැඳ පුදාගන්නා නියම පිළිවෙළ‍

කළ, නොකළ යුතු දේ ගැන හරියටම දැනගන්න

පළමුකොට කිරි වෙහෙර වැද පුදාගෙන බුදුන් වහන්සේට වත් පිළිවෙත් කරන්න
කතරගම දෙවියන්ට පුජාවක් පැවැත්වීමට පළමුව ගණ දෙවියන්ට පූජාවක් තැබීම දේව නියමයක්

ඇසළ උත්සව සමයේදී ඔබ කතරගම දෙවියන් කෙරෙහි භක්තියක් ඇතිව වන්දනා කිරීමට යන්නේ නම් ඒ සමඟම කළ සිදු කළ යුතු වත් පිළිවෙත් කීපයක් පිළිබඳ ඔබ දැනුම්වත් කිරීම වැදගත් වන්නේ යැයි සිතමි.

සිතින් ගතින් පේවී ශුද්ධා භූමියට යන ඔබ සැදෑ සිතින් ප්‍රථමයෙන්ම කිරි වෙහෙර වැද පුදා බුදුන් වහන්සේ උදෙසා වත් පිළිවෙත් සිදු කළ යුතු වෙයි.

මෙහිදී සුදු නෙළුම්, සුවඳ හඳුන්කූරු සහ පොල්තෙල් රැගෙන කිරි වෙහෙර වන්දනා කිරීමට යෑමේදී ඇතැම් අය ගිතෙල් පහන් ද රැගෙන යනු මම දැක ඇත්තෙමි. එහෙත් මාගේ පෞද්ගලික හැඟීම සහ දැනීම අනුව එය අනුමත කළ නොහැකිය. ගිතෙල් පහන් දැල්වීමට වෙනම අවස්ථාවක් ඇත. එයට හේතුව වශයෙන් මා දකින්නේ ගිතෙල් යනු ගවයාගේ රුධිරය මඟින් නිපදවී එම සත්ත්වයාගෙන් ලබාගන්නා දේවලින් සාදනු ලබන දෙයක් වීමයි.

ඔබ ගිතෙල් පහනක් දල්වා එය දැල්වී අවසාන වන තෙක් ඉවත්ව බලා සිටින්න. එය දැල්වී අවසාන වන විට දැනෙන ගන්ධය ඔබ හොඳින් ආඝ්‍රහණය කර බලන්න. එවිට ඔබට දැනෙනුයේ පුළුටු මිශ්‍ර ගන්ධයකි. එනම්, රුධිරය දහනය වන විට ලැබෙන ගන්ධයකි. එය කවදාවත් දෙවියන් හෝ යහපත් ආත්මයන් ඉවසන ගන්ධයක් නොවන අතර, වෙනත් කොට්ඨාසයක් ඒ පුළුටු ගන්ධය ඉතා ප්‍රිය කරන බවත් ඔබ දන්නවා ඇත. ඒ ගැන ද මතකයේ තබාගන්න.

ගිතෙල් පහන් දැල්විය යුතු අවස්ථා සහ ස්ථාන ඇත. එය වෙනමම වත් පිළිවෙත් කළ යුතු දෙයකි. ඒ සම්බන්ධව පසුව ඔබ දැනුම්වත් කරන්නෙමි. ඒ නිසා බුදුන් වැදීමට යන අවස්ථාවේදී ගිතෙල් පහන් දැල්වීම නොකරන්න.

ඔබ මල් පහන් පූජා කිරීමට ප්‍රථමයෙන් එම සියලු දේ රැගෙන එනම් මල්, සුවඳ කූරු, තෙල් රැගෙන අවම වශයෙන් කිරි වෙහෙර වටා වට හතක් තමන්ගේ සිතින් තමන්ගේ ප්‍රාර්ථනය සිදු කරමින් ජයෝ මුනින් දස්ස සුබෝධි මූලේ ගාථාව කියමින් පැදකුණු කරන්න. ඉන්පසු නෙළුම් මල් පූජා කර සතර කොනේ ඇති දොළොස් මහේ පහන්වලට තෙල් එක්කර පහළ මළුවේ හඳුන්කූරු දල්වා නැවත උඩ මළුවට ගොස් එක් එක් සිතින් බුදුන් වැඳ රත්නමාලි ගාථාව (සංසාර සරෝග…) තුන් සැරයක් කියා මල්, පහන්, සුවඳ දුම් පූජා කරන්න. ගාථාවක් කියා බුදුන් වැඳීම සම්පූර්ණ කරගන්න.

ආදි කාලයේ සිට පැවත එන සම්මතයක් වශයෙන් ඔබ සෙල්ල කතරගම ගණදෙවි දේවාලයට නැතහොත් ගගේ දේවාලයට ගණදෙවියන් සඳහා පූජාවක් කරන්න. ඊට හේතුව ගණ දෙවියන් උදෙසා කතරගම දෙවියන්ට පුජාවක් පැවැත්වීමට ප්‍රථමයෙන් පූජාවක් තැබිය යුතුය යන දේව නියමය නිසාය. මේ පිළිබඳව තීන්දු දේව පුරාණය පොතේ සවිස්තරව සඳහන් කර ඇත. මේ සඳහා ද ඔබ පොල් ගෙඩියක්, කෙසෙල් ඇවරියක්, සුදු මල් සමඟ කළු උක්ගස් කැබැල්ලක් දෙවොල වෙත කැප කර එය එහි සිටින කපුමහතා හට බාරදී පූජාවේදී කැප කරන ලෙස ද ඉල්ලා සිටින්න. ඔවුන් එය සිදු කරනු ඇත. එසේම ඔබ වෙනත් දෙවොලක පලතුරු පූජාවක් කරන විට ද එහි තබන පොල් ගෙඩිය සහ කෙසෙල් කැප වනුයේ ගණ දෙවියන් සඳහා බවද ඔබ නොදන්නවා ඇත. එනම්, එම පූජාව සිදු කර ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න.

මෙම පූජාව විශේෂයෙන්ම ඔබගේ දුවා දරුවන්ට ඉමහත් ප්‍රතිඵල දෙන පූජාවක් බව ද සිත්හි තබාගන්න. ඔබට උත්සව අවස්ථාවේදී දැකිය හැකි තවත් විශේෂිත දෙයක් වනුයේ උතුරේ සිට පැමිණෙන ද්‍රවිඩ ජනතාව පා ගමනින් පැමිණ එහිදි දේවාලයේ සිට එකතුව කතරගමට පැමිණ ඉන් පසුව මැණික් ගඟින් ස්නානය කර සුදු හඳුන්, අමු කහ මිශ්‍රකර සිරුරේ තවරාගෙන ප්‍රථමයෙන්ම මෙම ගඟේ දේවාලයට පැමිණ ගණදෙවියන් උදෙසා පූජා පවත්වා නර්තනයේ යෙදී ඒ රැඟුම් සමඟින්ම පා ගමනින් මහ දේවාලය වෙත ගමන් කරන ආකාරයයි. මෙහිදී බොහෝ අය තමන්ගේ ශරීරය හරහා හෝ ශරීරයේ අමුණා කරත්තවල හෝ එසේ සූදානම් කළ වාහනවල සවි කරන ලද දඬුවල එල්ලී පා ගමනින් යන අය සමඟ මහ දෙවොල කරා පැමිණ තමන්ගේ බාරයන් සිහිපත් කර එය පූජාවක් ලෙසින් දෙවියන්ට කැපකරනුයේ වාර්ෂිකව ඔවුන් කතරගම දෙවියන් උදෙසා තම භක්තියක් විශ්වාසයත් දැක්වීමටය.

සත්‍ය වශයෙන් ඔවුන් ඒ සා දුරක් පා ගමනින් පැමිණ ඈත ගම්බිම් කරා යනතෙක් ඒ විශ්වාස භක්තිය ඔවුන් සියලු දෙනාවම ආරක්ෂා කරන බව තරයේ අදහන දෙයකි. ඉන් පසුවට ඔබට අතීතයේ සිට පැවත එන අද බොහෝ අය වෙනස් අයුරකින් සිදු කරන කඩවර පූජාව සම්බන්ධව ඔබ නොදන්නවා ඇත. එනම්, අතීතයේ සිටම කතරගම දෙවියන්ගේ අඩුක්කුව අනුභව කිරීමට වරම් ඇති කඩවර දෙවියන් හට එම ශුද්ධ භූමියක් ඒ පරිසරයේ ආරක්ෂාව සහ පැවැත්ම අතීතයේ සිටම පවරා මහ දෙවොලේ පූජාවට ප්‍රථම එම අඩවියේ භාරකාර වන කඩවර දෙවියන් උදෙසා පුද පූජාවක් පැවැත්වීම සිදු කරන්නේ නම් මැනවි. කඩවර පූජාව ගැන වෙනම ලිපියකින් ඔබ දැනුවත් කිරීම පසුවට කරමි.

ඔබ මෙම කටයුතු අවසන්වූ පසුව යා යුතුම තැනක් ඇත. එනම් වල්ලි මාතා දේවාලයයි. බොහෝ අය එම ස්ථානය ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වුවද ස්කන්ධ කුමාරයා වල්ලි මාතාව සොයාගෙන කතරගම අඩවියේ වල්ලි මාතා හසු වූ අවස්ථාවේදී වල්ලි මාතාව සඟවා තැබූ ස්ථානය ලෙස ජනප්‍රවාදයේ පැවැත එන මහා සියඹලා ගස ද සමඟ (එය මහ දෙවොල ඉදිරියෙන්ම) වල්ලි මාතා දේවාලය පිහිටා ඇත. වල්ලි මාතාව නියම කතරගම දෙවියන් එම අඩවිය වාසය කිරීම සඳහා තෝරාගෙන එහි වාසය කළ බව පුරාණයන්හි සඳහන් වෙයි. මෙම ඇසළ සමයේ ප්‍රධානම අංගය වන පෙරහැර සිදු කරනුයේද කතරගම දෙවියන් වල්ලි මාතාව බැහැ දැකීමට යෑමත් විවාහය සඳහා එහි ගෙවැදීමත් සිහිපත් කරමිනි. එහෙත් එහිදී සිදු වූ බාධාවක් නිසා නැවත විවාහය ඊළඟ ඇසළ මාසය තෙක් කල් තැබීමත් නිසාය. ඔබ ඇසළ පෙරහර නරඹන අවස්ථාවේදී දෙවියන්ගේ ආභරණ රැගත් හස්තියා වල්ලි මාතා දේවාලයට පැමිණ එහි වත්පිළිවෙත් සිදු කොට නැවත මහ දෙවොල කරා වැඩම කරවීම සිදු කරන අයුරු දැක ඇතැයි සිතමි. එනම්, කඳ කුමරුගේ විවාහ මංගල්‍යය සිහි කිරීමයි.

මේ සෑම අවස්ථාවකදීම සියලුම දේ ධනාත්මකව තමාගේ අධ්‍යාත්මය සමඟ සන්සුන් මනසින් යුතුව මෙම කටයුතු කාරණා සියල්ලම සිදු කිරීමට සිතට ගන්න. ඔබ නිසි ආකාරයෙන් මෙම ඇසළ සමය තුළ මෙම වත්පිළිවෙත්, කටයුතු කාරණා නිසි ලෙස ඉටු කරන්නේ නම් ඔබට සැමදා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව, ආශිර්වාදය ලැබෙනවා ඇත. එසේම ඔබගේ දුවා දරුවනගේ කටයුතුවලදී ද එම පිහිට ආශිර්වාදය නොමඳව ලැබෙනු ඇත. එය වසර පුරාවටම ඔබට දෙවියන්ගෙන් ලැබෙන දායාදයක් බව සිත්හි තබාගන්න.

ඔබ නොදැනුවත්ම ඔබට අවශ්‍ය අවස්ථාවලදී එය ලැබෙනු ඇත. මේ සියලු කටයුතු කාරණා අවසන් වූ පසුව ඔබ නැවත මෙම කටයුතු ආරම්භ කළ කිරිවෙහෙරට ගොස් බුදුන් වැඳ මල් පහන් පූජාකර දෙවියන්ට ආරාධනා කර පිරිත් සඣායනය කරන්න. මෙතෙක් ඔබ දෑසින් දකිමින් කළ මේ සියලුම පූජාවන්ම සිතින් දැකගන්න උත්සාහ කරන්න.

සිත් එක්තැන්ව පිරිත් තුන් සූත්‍රය මෙනෙහි කරමින් ඔබ එම ක්‍රියාවන් මනසින් දකින විට චිත්‍රපටයක මෙන් ඔබ ඉදිරියේ ඒවා දර්ශනය වනු ඇත. එය ඔබ ඉතා ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් භක්තියෙන් එම කටයුතු කාරණා කළ බවට ලැබෙන සහතිකයයි.