රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක රාළ පදවිය බස්නායක නිලමේ පදවිය දක්වා විකාශය වීම – වර්ෂ 1818 සිට 1924 දක්වා

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක රාළ පදවිය බස්නායක නිලමේ පදවිය දක්වා විකාශය වීම – වර්ෂ 1818 සිට 1924 දක්වා

අප පෙර ලිපියෙන් සිහිපත් කළා සේ රුහුණු මහා කතරගම දේවාලයේ පිටකට්ට⁣ලයේ ප්‍රධානී තනතුර හෙවත් භාරකාර තනතුර වර්ෂ 1818 වන තෙක් මහබෙත්මේ නමින් විය. නමුත් එතැන් පටන් එය අහෝසි වී ගිය අතර මහබෙත්මේ – කුඩා බෙත්මේ තනතුරු වලට පහලින් වූ බස්නායක රාල නම් තනතුර බස්නායක නිලමේ බවට පරිවර්තනය වීම ඉන් අනතුරු කාලයේ දී කෙමෙන් සිදු වූ බව පෙනෙයි.

පැරණි ලේඛන වල මහනුවර යුගයේ ආරම්භයේ පටන් වර්ෂ 1824 තෙක් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක රාල පදවිය දැරූවන් පිළිබඳ මෙසේ සඳහන් වේ.

* රාජ්‍ය වර්ෂ 1678 – හත්කිඳ රාළහාමි
* රා.ව 1682 – මහනුවර ඒලියම් සෙනරත් රදල
* රා.ව 1759 – රාජකාරුණා වාසල මුදියන්සේ මඩකලපුව දිසාව
* රා.ව 1764 – දොඩම්වෙල දිසාරාල හාමි
* රා.ව 1778 – මොණරවිල කැප්පෙටිපොල දිසාරාල හාමි
* රා.ව 1779 – අංගම්මන දිවාකර වික්‍රමසිංහ රාජපක්ෂ වාසල මුදියන්සේ
*රා.ව 1781 – පලිඟුපාන දිසාරාලහාමි
*රා.ව 1786- අරව්වාවල වික්‍රමසිංහ විජේවර්ධන නවරත්න වාසල මුදියන්සේ
*රා.ව 1800-1824 – උනම්බුවේ දිසාරාලහාමි

මෙම පත් කිරීම් රජු විසින් හෝ රජුගේ අවසරය ඇතිව වෙල්ලස්සේ දිසාව විසින් කරන ලද බව පෙනී යයි. බොහෝ විට මෙම පත් කිරීම් වර්ෂ කිහිපයකට සීමා විය.

ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගෙන් පසුව මෙරට රාජ්‍යය බලය වර්ෂ1815 දී ඉංග්‍රීසින් සතු වූ එහි දී උඩරට ගිවිසුමෙන් මෙම පුරාණ චාරිත්‍ර ආරක්ෂා කිරීමට ඔවුහු එකඟ වූහ. එහි පස්වැනි වගන්තිය මෙසේ ය.
” මෙකි රටවල්වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නා වු බුද්ධ ශාසනයද දේවාගමද කඩකල නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එකී කටයුතුද සංඝයාද විහාරස්ථාන දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්නඩත් ඕනෑයැ”

මේ ප්‍රකාශය මෙසේ වුවත් 1818 කැරැල්ල හේතුවෙන් ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් වීමක් සිදු විය. ඒ අනුව කතරගම මහබෙත්මේ – කුඩා බෙත්මේ රාළවරු එම කැරැල්ලට සහයෝගය දැක්වීම හේතුවෙන් එම තනතුරු තහනම් කරන ලදී. වර්ෂ 1815 පසුව බස්නායක රාළ පදවිය පත් කිරීම ඉංග්‍රීසි ආණ්ඩුවේ මැදිහත් වීමෙන් ආණ්ඩුකාරවරයා විසින් සිදු කළේය. බොහෝ විට මේ සඳහා පාරම්පරික උරුමයත්, බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ඇති පක්ෂපාතී බවත් සැලකිල්ලට ගත් බව පෙනී යයි. මේ පත් කිරීම් වල දී මාගම්පත්තුවේ රදල ප්‍රධානීන් සේ ම වෙල්ලස්ස දිසාවේ ප්‍රධානීන් ද පත් කොට තිබේ. ඒ අනුව,

* රා.ව 1824 – මාතර දොන් ජයලත් සෙනරත් රත්නායක මුදියන්සේ
* රා.ව 1847 – එම්. දොන් සිරිවර්ධන දිසානායක රාළහාමි
* රා.ව 1847 – දොන් ලුවිස් ද සිල්වා අබේසිංහ වික්‍රමසූරිය මුදලිතුමා
*රා.ව 1848 – 50 – රඹුක්පොත සෙනෙවිරත්න ඌවේ දිසාරාළහාමි
*රා.ව 1861 – කටුගහ බණ්ඩාරනායක හේරත් මුදියන්සේ රාළහාමි
*රා.ව 1868 – දික්වැල්ලේ දොන් ආබ්‍රහම් රාජපක්ෂ
* රා.ව 1878 – හිඟුරුකඩුවේ මුල්ලේගම පානම රටේ මහත්තයා
*රා.ව 1880 – යදල්ගමුවේ සූරිය සේකර බණ්ඩාරනායක මුදියන්සේලාගේ කිරිබණ්ඩාර බස්නායක නිලමේ

මෙසේ වර්ෂ 1815 සිට මෙම පත් කිරීම් කරනු ලැබූවද බ්‍රිතාන්‍ය රජයත් ආණ්ඩුකාරවරයාත් විසින් බුදු සමයට හා දේවාල වලට කරන මෙම අනුග්‍රාහකත්වය ගැන නොසතුටු වූ පිරිසක් ද විය. ඒ මිශනාරිවරුන ය. එහිදී 1839 සිට ප්‍රබල මතවාදයක් ගොඩනැගූ ස්පෙන්ස් හාඩි නම් පූජකවරයා ” දුසිරිත් වූ හා පිළිම වන්දනාමාන කරන ආගමකට ක්‍රිස්තියානි රජෙකු හා ක්‍රිස්තියානි ආණ්ඩුවක් අනුග්‍රහය දැක්වීම කරනුයේ කෙසේ දැයි ” විමසා සිටියේ ය. මෙහි ප්‍රතිපලයක් ලෙස 1846 අංක 2 දරණ ආඥා පනත ඉදිරිපත් විය. එහි පූර්විකාව මෙසේ ය.

” දළදා හෙවත් බුදුහු දන්තයෙහි භාරයෙන් ඉවත් වීමට හා දේවාලවල අධිපතින් හා ප්‍රධානීන් පත් කිරීමට අදාළ වගකීම්වලින් බ්‍රිතාන්‍යයන් ඉවත් වීමටත් විහාර හා දේවාලවල පාලනය හා එහි ආදායම් කළමනාකාරීත්වය බෞද්ධ භක්තිකයන්ට පැවරීම යෝග්‍ය යැයි හැඟී යන හෙයින්..”

මෙය ඉදිරිපත් කිරීමේ ඍජු ප්‍රතිපලය වූයේ 1848 කැරැල්ල බව මහාචාර්ය කේ.ඇම්. ද සිල්වා මහතා පවසන්නේ, මෙයින් උඩරට ගිවිසුමෙන් අත් කරගන්නා ලද එකඟතාවයන් පාවා දීම සිදු වූ බව භික්ෂූන් වහන්සේලා සහ රදළවරුන් සැලකූ නිසා ය. කෙසේ වෙතත් වික්ටෝරියා රැජිණ මේ පනතට විරුද්ධ වීම නිසා එය ක්‍රියාත්මක නොවුනි.

එහෙත් මිශනාරිවරුන්ගේ විරෝධතා නොනැවතී පැවතුනු අතර බ්‍රිතාන්‍ය ආණ්ඩුවට මෙය මහත් හිසරදයක් විය. මේ නිසා ඔවුන් බෞද්ධ විහාර දේපළ මනාව පාලනය හා කළමනාකරණය උදෙසා යැයි පවසමින් 1889 අංක 3 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත හඳුන්වා දෙන ලදී.

ඒ අනුව විහාර දේවාලගම් පරිපාලනය අදාලව දිස්ත්‍රික් කමිටු පත් කිරීමට ප්‍රතිපාදන සලසන ලද අතර එම කමිටු සඳහා සාමාජිකයන් පත් කිරීම මහජන ජන්දයෙන් සිදු විය. දිස්ත්‍රික් කමිටුවක් පත් කිරීමට ජන්ද බලය ලැබුනේ අඩුම තරමින් එම දිනට පූර්ව සය මාසය තුළ එම උප දිස්ත්‍රික්කයේ පදිංචිකරුවකුව සිටි භික්ෂූන් වහන්සේ කෙනෙකුට හා අවුරුදු 21 කට වැඩි සියලුම පිරිමි ගෘහස්ථයන්ට වේ. මෙම කමිටුවේ සාමාජිකත්වය ලබන තැනැත්තා ගිහි බෞද්ධයකු වීම, අදාළ ප්‍රදේශයේ වසරකට වැඩි කාලයක් පදිංචිව සිටීම, වයස අවුරුදු 25 වැඩි වීම සහ බරපතල අපරාධයකට වරදකරු නොවීම යන සුදුසුකම් සපුරා තිබිය යුතුය.

මේ පනතේ තවත් ප්‍රතිපාදනයක් වූයේ සෑම විහාර දේවාලයකට ම භාරකරුවකු පත් කිරීමයි. එකී පුද්ගලයා පත් කිරීමේ අයිතිය දිස්ත්‍රික් කමිටුව සතු විය. භාරකාරුගේ වගකීම වූයේ සිද්ධස්ථානයේ දේපල මනාව පරිපාලනය කිරීමයි. ඒ අනුව රුහුණු මහා කතරගම දේවාලය සඳහා මෙම පනත ප්‍රකාරව බස්නායක නිලමේවරයා භාරකාරු ලෙස පත් කරන ලදී.
මේ යටතේ කතරගම දිස්ත්‍රික් කමිටුව විසින් පත් කළ බස්නායක නිලමේවරු ලෙස

* රා.ව 1894 – යදල්ගමුවේ අදිකාරම්
*රා.ව 1909 – කොස්කොගොල්ලේ බණ්ඩාරනායක ජයසේකර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර උල්විට රාළහාමි
*රා.ව 1924 – ජී.බී.කටුගහ

හැඳින්විය හැකිය.

සිද්ධස්ථාන භාරකාරු ලෙස බස්නායක නිලමේවරයා සිද්ධස්ථානයට අයත් දේපළක් පිළිබඳව කරන ලදැයි කියනු ලබන යම් අකටයුත්තක්, විශ්වාසය කඩ කිරීමක් හෝ රාජකාරි කටයුතු පැහැර හැරීමක් ලෙස ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාව මෙම පනතින් ලබා දී තිබුනි.

1889 අංක 3 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත 1895 අංක 17 දරණ, 1905 අංක 08 දරණ සහ 1912 අංක 27 දරණ සංශෝධිත පනත් තුනකින් ශක්තිමත් වූ අතර 1931 දී මේ වෙනුවට නව පනතක් හඳුන්වා දීම තුලින් පොදුවේ සමස්ත විහාරදේවාලගම් මෙන්ම රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ පදවියත් වෙනස් ම තත්වයකට පත් වූ බව කිවයුතු මනාය.

ආශ්‍රිත මුලාශ්‍ර
• කතරගම් පුවත – සුමිත් රණසිංහ
• කතරගම ඉතිහාසය – පරවාහැර පේමානන්ද හිමි
• බෞද්ධ විහාර දේවාලගම් පනත මුලාරම්භය, විකාශය, වර්තමානය සහ ඉදිරි දැක්ම – මහින්ද රැළපනාව