
බස්නායක නිලමේ පදවිය
මහ බෙත්මේ
රුහුණු කතරගම මහා දේවාලයේ රාජකාරි මඬුල්ලෙහි ප්‍රධානියා වන්නේ බස්නායක නිලමේවරයාය. බස්නායක නිලමේ ධූරයේ පළමු නාමය “මහ බෙත්මේ” යන්න වන අතර මෙකී ධූරය පළමුවෙන්ම හොබවන ලද්දේ දුටුගැමුණු රජුගේ ඥාතිවරයකු හෙවත් මාමා කෙනෙකු වූ ගිරුවාපත්තුවේ ගොරහරදුගම භාතියතිස්ස බමුණු කුමාරයා බව කියැවේ.
මෙසේ අනාදිමත් කාළය සිට පැවත ආ මහබෙත්මේ තනතුර බි්‍රතාන්‍ය පාලන සමයේ දී පත්කරනා ලද කමිටුවකින් බස්නායක නිලමේ යනුවෙන් වෙනස් කර, පාරම්පරික පෙළපත් වලට එම නිලයේ බලය පවරා, ඊට අදාල සුදුස්සන් පත් කරනා ලදී.
එසේ පාරම්පරිකව බස්නායක නිලමේ ධූරය දැරූ අවසාන බස්නායක නිලමේවරයා වන්නේ පුංචි බණ්ඩා උල්විට නිලමේය. එතුමන් 1930 වන තෙක් එම ධූරය දැරූ අතර 1931 දී පී.බී. කටුගහ නිලමේවරයා මෙම තනතුරට පත් වන්නේ ඡන්ද ක්‍රමය අනුවය.
මෙකී ඡන්ද බලයෙන් සිදු කෙරුනු බස්නායක නිලමේවරයාගේ නිල කාළ සීමාව වසර දහයක් වූ අතර 1980 දශකය වන විට එය වසර පහකට සීමා කරන ලදී.
බස්නායක නිලමේවරයාගේ රාජකාරි අතර, දේවාලය සතු චංචල – නිශ්චල දේපොළ කළමනාකරණය, මංගල්‍යය පැවැත්වීම, පෙරහැර මංගල්‍යය වල දී දෙවිහාමුදුරුවන් වැඩම කරවීම, දෙවොලට ලැබෙන පුද පඬුරු පාලනය, දේවාල අරමුදල හරහා සමාජ සත්කාරක සේවා ක්‍රියාත්මක කිරීම ආදිය ප්‍රධාන වෙයි.
වර්තමානයේ මේ භාරධූර වගකීමේ හොබවනු ලබන්නේ ඩිෂාන් ගුණසේකර බස්නායක නිලමේතුමන් වන අතර එතුමන් 2020 වර්ෂයේ සැප්තැම්බර් මස දී එම තනතුරට තේරී පත් විය. මීට පෙර එතුමන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු උත්පලවණ්ණ මහා දේවාලයේ බස්නායක නිලමේ ධූරය ද හොබවන ලදී.
රාජකාරි මණ්ඩලය
රුහුණු මහ කතරගම දෙවොලේ නිල රාජකාරී
දුටු ගැමුණු මහරජතුමන් විසින් රුහුණු මහා කතරගම දෙවොල විධිමත් සැළැස්මක් අනුව සකස් කර චිරාත්කාලයක් දෙවොල පවත්වාගෙන යාම සඳහා ස්ථාපිත රාජකාරී මණ්ඩලයකට නිලපංගු පවරා ඇත. ඒකී රාජකාරී වර්ථමානයේ වුවද ක්‍රියාමත්මකවන බව මෙහි විග්‍රහ කරන නිල නාමාවලියෙන් පැහැදිලි වේ.
ඒ අනුව රජ තුමන් විසින්ම පවරා නියම කරන ලද අයුරින් රාජකාරී අදාළ අවස්ථාවලදී ක්‍රියාත්මක කෙරෙන ආගමික සිද්ධස්ථානයක් ලෙස රුහුණු මහ කතරගම දෙවොල හැඳින්විය හැක.
ඒ අනුව එකළ දුටු ගැමුණු රජතුමා ඉසිවරයින් ගෙන්වා දේවාලයේ සැලස්ම සාදවා පුද පුජා ක්‍රම අසාගෙන බෙරවාදන විශේෂඥයින් ගෙන්වා ගෙන බෙර පද අසා ගෙන දේවාලයේ පැවැත්මට ගොඩ මඩ ඉඩම් අක්කර අනු නවදහසක් පුජා කර දේවාලයේ කපු පරපුරට දස මහා යෝදයින්ගේ පුර පුරේ උසස් කුළයේ අය පත්කර දේවාලයේ රාජකාරි ඉටු කිරීම පිණිස රාජකාරි කරුවන් 555 කු පත් කරනු ලැබිය.
මෙම රාජකරි කරුවන්ගේ පැවැත්ම සඳහා ඔවුන්ට ගොඩමඩ ඉඩම් ද පරිත්‍යාග කර දේවාලයේ ඉඩම් බදු දීි ලැබෙන ආදායමෙන් දේවාලයේ පුද චාරිත්‍ර ඉරහඳ පවතිනා තුරු සිදු කිරීමට දුටුගැමුණු රජතුමා රාජ්‍ය අඥාවක් ද පනවනු ලැබීය. එදා සිට අද දක්වා කතරගම දෙවියන් සඳහා මෙම පුද පුජා කටයුතු ගෞරවයෙන් සිදුවෙමින් පවති.
වර්තමානයේ බස්නායක නිලමේ වරයාගේ මුලිකත්වයෙන්
කපු මණ්ඩලය,
ආලත්ති අම්මාවරු,
නිල රාජකාරි මණ්ඩලය,
රාජකාරි මණ්ඩලය මහාබෙත්මේ පිල,
රාජකාරි මණ්ඩලය කුඩා බෙත්මේ පිල,
දෙවියන් වෙනුවෙන් චාරිත්‍ර ඉටුකරනු ලබයි.