කතරගම දේවාලය

කතරගම දේවාල පුරාකතාව

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඉතිහාසය ඉතා දුරාතීතයට දිවේ. පුරාවිද්‍යාත්මක නොවුවද සාම්ප‍්‍රදායික හා කාල්පනික මතයන් මීට ඉවහල් වේ. බුදුරජාණන් වහන්සේ දිවමන් කළ හෙළයේ කාචරගාම නම් එවකට නාමකරණය වූ කතරගම “කිහිරි” නම් වෘක්ෂ විශේෂයකින් සැදි කිහිරි වනයෙහි කිහිරි ගස් සෙවණක අසුන් පණවා දීමෙන් එහි වැඩ හිදිමින් බුදුන් පිරිසට දහම් දෙසූ හයි කියැවෙන අතර එකී කිහිරි ගහ පිහිටි භූමියෙහි කිරිවෙහෙර ඉදිකරනා ලදි. මෙහි ප‍්‍රමුඛයාව කටයුතු සම්පාදනය කර ඇත්තේ එවකට එහි ප‍්‍රාදේශීය පාලකයකුව සිටි ජන හිතකාමී පරෝපකාරී මහාසේන නම් පාලකයෙකි.

එකී පාලක තුමෝ බුදුරදුන්ගෙන් දහම් අසා එදිනම සෝවාන් මාර්ග ඵල ලබා අවසන මහසෙන් දෙවියන් නමින් මිනිසුන්ගේ ජන වන්දනයට පාත‍්‍රව කතරගම ජනිතව ඇති බවත්, එකී මහාසේන දෙවියෝ කතරගම දෙවියන් නමින් එදා මෙදා තුර අදහනු ලබන බවත් එක් පුරා කතාවකි.

හින්දු දේව පුරාණයට අනුව ශිව-පාර්වති දේව මාපියන්ට පුතුව, ගණේශ දෙවියන්ට සෝවුරුව ශුද්ධාත්ම ජනනයක් ලත් “ස්කන්ධ” නම් වූ මහා බලගතු දෙවියන් ඓතිහාසික යුගයේදී කාචරගාමයට පැමිණ වර්තමාන සෙල්ලකතරගම වනාශ‍්‍රිතව හමු වූ “වල්ලි” නම් මනස්කාන්ත රූපශී‍්‍රයෙන් යුත් වැදි සම්බවයක් ඇති යුවතිය හා සහසම්බන්ධව විසූ බවත්, තේවානි අම්මා නම් සිය ඉන්දියානු ප‍්‍රියඹද තම වල්ලභයාණන් පසුපස පැමිණ මෙහිම නතර වූ අතර, ස්කන්ධ නම් වූ හේ කතරගම දෙවියන් බවත් තවත් පුරාවෘත්තයක්ව අදත් පවතී.

මේ සියල්ල මෙසේ පවතින අතර ක‍්‍රි. පූ. දෙවන ශතවර්ෂයේදී සිරිලක එක්සේසත් කල “දුට්ඨ ගාමණී අභය” මහා නරේන්ද්‍ර තෙමේ හට මෙම පිංබිමේදී කතරගම දෙවියන් සම්මුඛව ඇති අතර, ඒ මොහොතෙහි රජු විසින් යුධ ජයග‍්‍රහණයෙහිලා, දොළොස් අවියෙන් සංග‍්‍රාම නෛපුණ්‍යයෙහි සමත් තේජෝබල පරාක‍්‍රමයෙන් ආඪ්‍ය දේවෝත්තමයාණන්ගෙන් නපුරෙන් යහපත ජයග‍්‍රහණය සඳහා උපකාර වන්නැයි ඉල්ලා සිටිනා ලදින්, සැබැවින්ම හේ උපකාර කළෙන් රජු දේශය එක්සත් කිරීමේ වෑයම මුදුන්පත් කොටගෙන තිබේ.

කෘතෝපකාර සඳහා මා කළ යුත්තේ කුමක් දැයි රජු දේවෝත්තමයාණන්ගෙන් විමසූ කළ, වැඩසිටි කන්දේ සිට හී සරයක් එවා එය බිම හොත් තැන දෙවොලක් සාදන්නැයි ප‍්‍රකාශ කළෙන්, දුටුගැමුණු මහරජු විසින් එය එසේම ඉෂ්ඨ-සිද්ධ කිරීමට සියල්ල සම්පාදනය කරමින්, තමාට පුරෝගාමී ව වනය අවැසි පරිදි පිළිසන් කොට, සරල මුත්, අති පාරිශුද්ධත්වයෙන් අගතැන්පත් වන සේ වෘක්ෂ අතු ඉති යොදා ස්වභාවික දෙවොලක් ගොඩ නංවා පුදන ලදින්, අදත් වසරකට වරක් හස්තීන් ලවා පූජාර්හ ලෙස වන අතු ඉති හෙවිල්ලමින් “අතුපන්දල” යන නාමකරණ මංගල්‍යය පවත්වමින් පෙර සිරිකාව රැුක ආරක්ෂා කරනා අතර එදා ස්ථාපිත එකී දෙවොල කතරගම මහ දේවාලය නමින් ශුද්ධ භූමිගතව පොදු ජන වන්දනයට නිතැතින්ම පාත‍්‍ර වන්නාහ.