දිනපතා පූජාව

අලුත් අවුරුදු මංගල්‍යය

කතරගම දේවාලයේ මංගල්‍යය වලින් වසරේ ප්‍රථමයෙන් ම උදා වන්නේ අලුත් අවුරුදු මංගල්‍යයයි. එහි දී කිරි ඉතිරවීම, දේවාලේ වැසීම, නැවත විවෘත කිරීම, පහන් දැල්වීම, වත බැද දෙවියන් වැඩම කරවා පෙරහැර පැවැත්වීම, නානුමුර මංගල්‍යය පැවැත්වීම හා මුරුතැන් බෑම යන චාරිත්‍ර ප්‍රධාන වශයෙන් ඉටු කරනු ලබයි.

පුණ්‍ය කාළයට පෙර කිරි උතුරවා මහ දේවාලයේ දොරවල් වසා තබන අතර නැවත දොරවල් විවෘත කරනුයේ සුබ මුහුර්තයකට අනුවය. ඉන් අනතුරුව සවස් යාමයේ සුබ නැකතින් අවුරුදු පෙරහැර පවත්වනු ලබන අතර එය ඇසළ පෙරහැර තරම් ම උත්කර්ෂවත් නොවුනත් විචිත්‍රවත් පෙරහැරකි.

අලුත් අවුරුදු මංගල්‍යයේ දී සිදු වන තවත් එක් චාරිත්‍රයක් වන්නේ දැකුම් තැබීමයි. පෙරහැර බලන කපුරාළ හා තේවේ කපු රාළ නවවැදුම් වැඳ පෞරාණික වාක්‍ය කියා දෙවොලට ලැබූ ආදායම් කියා දක්වයි.

කණු කපන මංගල්‍යය හා කප් සිටුවීම

කතරගම ඇසළ මංගල්‍යය නිමිත්තෙන් කප් සිටවීම හා බැඳුනු චාරිත්‍ර මෙනමින් හඳුන්වනු ලබයි. වෙසක් මස පසලොස්වක පොහෝ දින සවස් යාමයේ කපු මහතුන් හා අනිකුත් රාජකාරිකරුවන් සමග ගොස් අදාළ සිරිත් ඉටු කර කප සඳහා අදාළ වෘක්ෂය කපා ගෙන එනු ලබයි. වල්ලි අම්මා දේවාලය අසල ඇති රදා තොටින් නැවත කප නානු මුර කොට එදින රාත්‍රියේ කප වල්ලි අම්මා දේවාලයේ තැම්පත් කරනු ලබයි.

පසුදා උදෑසන හේවිසි නාදය මධ්‍යයේ කප් දෙක මහ දේවාලයට වඩමවා නැවත නානු මුර කරනු ලබයි. ඉන් අනතුරුව කප් දෙකෙහි අග මල් පඬුරු ගැට ගසා මාලිගාවේ ඉදිරිපස රිදී කණු දෙකේ බඳිනු ලැබේ. මෙදින මුරුතැන් පූජාව සඳහා කිරිබත් සහ කැවුම් පූජා කිරීම ද චිරාගත චාරිත්‍රයකි.

ඇසළ පෙරහැර මංගල්‍යය

කප් සිටුවීමෙන් දින 45 කට පසු ඇසළ මංගල්‍ය ආරම්භ කරනු ලැබේ. පළමු දින 5 දී බස්නායක නිලමේවරයා පෙරහැරේ ගමන් නොකරන අතර ඒ වෙනුවවට පෙරහැරේ ගමන් කරනු ලබන්නේ මහ බෙත්මේවරයාය. පෙරහැරේ සයවැනි දිනයේ දී විශේෂ චාරිත්‍ර රාශියක් සිදු වන අතර දෙවිහාමුදුරුවන්ට පින් පිණිස බස්නායක වලව්වේ ගොමමැටි කාමරයේ දී සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම, අතුපන්දලම අලුත් කිරීම, කඩොල් ඇතුගේ දළ යුගලය මාලිගාව ඉදිරි පස ප්‍රදර්ශනය කිරීම හා නිලමේවරයා පෙරහැරේ ගමන් කිරීම යන චාරිත්‍ර ඒවා වේ.

අවසන් මහ පෙරහැර වඩා ආකර්ෂණීය ලෙසත් උත්කර්ෂවත් ලෙසත් පවත්වනු ලබයි. මෙදින පෙරහැර කිරිවෙහෙර දක්වා පළමුවෙන් ගමන් කරයි. එහිදී බස්නායක නිලමේවරයා චෛත්‍යරාජයාණන් වහන්සේට පුද පුජා පවත්වා සෙත් පිරිත් ශ්‍රවණය කොට රාජාසන කථාව පවත්වනු ලබයි. ඉන් අනතුරුව නැවත පෙරහැර ගමන් අරඹා මහ වාහල්කඩින් පිට විදීයට පිවිසෙයි. අතරතුර නඩත්තු පොළවල් නමින් හඳුන්වන තැන් වල දී විශේෂ පූජා පවත්වනු ලබයි. වල්ලි අම්මා දේවාලයට ගෙවැදී මද වේලාවක් එහි රැඳී නැවත මහා දේවාලය බලා පෙරහැර ගමන් කරයි. නැවත උදෑසන වල්ලි අම්මා දේවාලය වෙත කුඩා පෙරහැරක් ගමන් කරයි. එය කඳ සුරිඳුන්ගේ හා වල්ලි මාතාවගේ මධු සමය සිහිපත් කරයි.

නැවත එළැඹෙන නැකැත් වේලාවකට අනුව දිය කැපීමේ පෙරහැර පිටත් වෙයි. එහිදී දිය කැපීම සඳහා දෙවියන් වැඩම වන්නේ ඇතු පිට නොව තල් කොළ කූණමකය. මැණික් ග‍‍ගේ දහයියා තොටෙන් ගං දියට බසින පිරිස ජීවමාලි තොටුපල දක්වා ගමන් කොට එහි දී දිය කපනු ලැබේ.