ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ
අලි වාඩිය
කතරගම මහා දේවාලයේ චාරිත්‍ර විධි අතර හස්තීන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අනුව දුටුගැමුණු මහ රජතුමන් දෙවියන් උදෙසා කොළ අතු වලින් තාවකාලිකව දේවාලය තැනීමේ දී සහය ලබා දුන්නේ රජුගේ මඟුලැතු වූ කඩොල් නම් හස්තියා විසිනි. අදත් ඒ චාරිත්‍රය සිහිපත් කරමින් ඇසළ මංගල්‍යයේ සවැනි දිනයේ දී දේයවාලය ඉදිරිපිට ඇති අතු පන්දලම අලුත් කිරීම සඳහා කොළ අතු ගෙන එන්නේ හස්තීන් විසිනි. කඩොල් ඇතු මිය ගිය පසු එම දළ යුගලය ද දේවාලයට පරිත්‍යාග කරන ලෙස දුටුගැමුණු මහරජතුමන් විසින් නියෝග කොට ඇත.
මෑත කාලයේ කතරගම දේවාලයේ ඇත් පන්තියට අයත් ඇතුන් කිහිපදෙනෙකු පිළිබඳව ම ඉතිහාසයේ සඳහන් වේ. 19 වන සියවසේ දී තේවානිඅම්මා කෝවිල විසින් පෝෂණ කළ වේලා නම් ඇතකු සිටි ඇති අතර ඉන් පසු මාර්කණ්ඩ මඩමේ මුදලලාලි විසින් මෙම රාජකාරි සඳහා ඇතකු පරිත්‍යාග කොට ඇත.
ඒ ඇතා 1948 දී මිය යාමෙන් අනතුරුව ජේ. ඒ. රඹුක්පොත බස්නායක නිලමේතුමාගේ යුගයේ දී ලියෝ ප්‍රනාන්දු ඇතකු පරිත්‍යාග කළේය. 1956 දී එම ඇතු මිය ගිය පසු කදිරා නම් අලියකු ද කරවිල ප්‍රදේශයෙන් ලද නිසා කරවිලයා නම් ලද අලියා ද දෙවිහාමුදුරුවන් වැඩම කිරීමේ රාජකාරි ඉටු කරන ලදී.
එම අලියා ද මිය යෑමෙන් අනතුරු 1977 දී එවක රජයේ පරිත්‍යාගයක් ලෙස විමලා කන්නන්ගර අමාත්‍යතුමියගේ මැදිහත් වීමෙන් පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයෙන් ඇතකු ලද අතර එම ඇතු වාසනා නම් විය. 2005 වර්ෂයේ දී ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පෙරහැර කරඬුව වැඩමවීමේ භාග්‍යය ද හිමිකරගත් වාසනා ඇතු වර්තමානයේ ශ්‍රී ලංකාවේ ගෘහස්ති හස්ති සංචිතයෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. සුවිශේෂී ගතිගුණ වලින් හෙබි මෙම ඇතු 1989 දී කතරගම මහ පෙරහැර එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ දී පවා දෙවිහාමුදුරුවන් සුරැකීමේ කටයුත්ත නොපිරිහෙලා ඉටු කරන ලදී.
වාසනා ඇතුට අමතරව කතරගම මහා දේවාලයට මද්දු හස්තියා ද හිමි අතර තරිදු, සාලිය බානු යන හස්තීන් කිරිවෙහෙර රාජමහා විහාරයට අයත් වේ.
අසේල හස්තියා කතරගම අභිනවාරාමට අයත් වේ.